රතු රෝස මල.......

රතු රෝස මල.......

දෙවඟනක මෙන්
රුසිරෙන් යුත්
රෝස මලක්
පිපී දිලුණා
අනුන්ගේ ගෙවත්තක.....

මගතොට යනෙන
දින ගණනක් පුරා
දකින පියකරු රුව
උහුලාගෙන ඉන්නට
බැරිම තැන
අයිතිකරු සොයා
පියමැනිමි ගෙමිදුලට...
ඈඳිගෙන සිටියේය ඔහු
කම්මැලිව ඇඳි පුටුවක
ගොත ගසා අවසන...
පැවසුයෙමි

....මා සතු සන්තකයම දෙමි ඔබට
දෙනවද මේ රතු රෝස මල....

කිසිත් කලබලයක් නැතිව
ඈනුමක් ඇර
පැවසීය ඔහු..

වටිනවද උඹට ඔච්චරටම....
මට නං ඇතිවෙලා අතුගාලම
හැඩිවෙනවා මහ පොළව...
මලක් නොවේ
ඔය පඳුරම
අරන් පලයන්
නොපෙනෙනා දුර..


මං පෙම්බැඳි සින්දු

රට ගිය අම්මාට.........

රට ගිය අම්මාට.........

මං වැඩට ගිය අතරෙ
අපේගෙටත් ගොඩ වැදුණු
චුට්ටෙ
පාඩම් කරකරඉඳපු
නංගිගෙ අකුරුත් පටලවන්
අරන් ගිහින්....

එදා ඉඳන් නන්දනීගෙ ගෙදරිනුත්
මගේ කසාදෙට අදිමදි කරනව....

විභාගෙන් පස්සෙ
හන්දියෙ කඬේළඟ
ගැන්සි බහින
මල්ලිගෙ හීනත්
දුම්රොළුත් එක්ක
කළුවරේ උඩුගුවනට
මුහුවෙනව කියල  දැන් ආරංචියි....

කණ්ඩියෙ තියෙන කොස්ගහ
වහලට කඩන් වැටෙන්න ළඟයි
සේතං මාම නං කිව්වෙ
මුදුන් මුල හයිය නෑලු

තාත්තගෙ දානෙන් පස්සෙ
වහලත් කඩා වැටෙන්න අරන්
බාස් නං කිව්වෙ
අත්තිවාරම හරි නැහැයිලු

අනේ අම්මෙ
පුළුවන් නං
කොස්ගහ වහලට
කඩන් වැටෙන්නකලින්
ගෙදර  එන්න....


මං ලොකු පුතා සින්දු

ආදරණීය කවිය......

ආදරණීය කවිය......

අහස සිඹින තට්ටු ගෙවල් - දඬු මොනරුන් හා
නම්බුනාම පට්ටන්දර - සොයා
හිස් ලූලූ අත දිවෙන- මිනිසුන් අතර
ඔහේ බලා සිටිමි මම...

මේ කිසිවක් හීනයක - අසලකවත් නොලූ
ඉසව්වක - පණ හික්‍ෂෙන පිනිබිඳු දෙස
නිසල දෑස් යොමා - බලා හිඳිමි...
මළවුන් අතරේ - නොමැරී සිටිනට
මහද කිතිකවයි....
අර්ථා: ගෘහේ නිවර්තන්තේ - ශ්මසානේ මිත්‍ර බාන්ධවා:
සුකෘතං දුෂ්කෘතං චෛව - ගච්ඡන්ත මනුගච්ඡති
(ධනය ගෙහි නවතින අතර, සොහොනෙහි නෑයන් නවතියි.
කළ හොඳ නොහොඳ මා සමග යනු ඇත.)

මාපිය සෙනෙහස අහිමිව - මහමගට ඇද වැටී
අහම්බෙන් - බෝසත් මල් අසුනකට වැටුණු
ජීවිතයේ සියුම් නිල - ගැඹුරින් ඇල්ලූ නමුදු
හිස් අතින් මහ පොළවට පස් වූ
ආදරණීය පණිවුඩය පණිවුඩය සිහි කැඳවයි...
.........හැමෝගෙම ඇස්වල තියා කඳුළක්
යනවා මිසක්
එපා යන්නට දමා ගමට සුදු කොඩියක්....

සියල්ල සිහි කැඳවා ගෙදර ගිය පසු
බිරිඳ ගොරවයි..

.....ගෙවන්නද කොච්චර කල්  - මේ කුලී වහල යට
හොයා ගෙන එව කහවණු - පර්චස් හයකට සරිලන ලෙස......
බසිමි ගෙදරින් එළියට - කිසිත් නොකියා පාන්දරම
....නොලසා නොඑමිය සොඳුර -ඉඳින් කැමති නම් රැක ගේ දොර.....


සොයා යා යුතුය - මට අහිමි මම...
මහමගට බසින මට හමුවිය - මහා කවි කාලිදසුන් හා
සුපිරි තරුවක් මුහුණට

කාලිදාස -
රඝුවංශය ලිව්වත් මම - මට මාව දැනුණෙ අඟුටුමිට්ටෙක්ව
ඵල බරින් යුතු  වී කරල - පැහෙන කොට නැමෙනවා නොවැ
......ප්‍රාංශු ලබ්ධ්යේ ඵලේ මෝහාත් - දුද්බාහුරිව වාමන:....
(උස ගහකට නගිනු කැමති අඟුටුමිට්ටෙක්මි මම)

සුපිරි තරුව - අද කාලෙ එහෙම බෑ අංකල්
නමාගෙන හිටියොත් මුදුන - හිට්වෙන්න  ඕන නං නුඹට...
කවියට කලියෙන් - මේකප් කළ යුතුමය මුහුණ....
නෑසූ කන්ව යමිය තව ඉදිරියට....

අසතොමා සද්ගමය... - තමසොමා ජ්‍යොතිර්ගමය
මෘත්‍යෝත්මා අමෘතංගමය....  ( උපනිෂද්)

සිමෙන්ති කැට නොව - හදවත් තුළ ගිගුම් දෙන
හිස් ලූලූ අත දිවෙන - හදවත් සුවපත් කරවාලන
කවියක්ව - මා නිදන්ගත වුව
හදවත්වලින් නොමැකෙන - මා සුළඟක් කළ මැනව...


මං සීතල සින්දු

බුදල්මී......... සිහිගිරි ආමි....

බුදල්මී......... සිහිගිරි ආමි....

දින ගණනක් ගෙවා දුරු කතර
බැඳි කදමලු ගෙන
පවුල් පිටින්
පයින්ම සිහිගිරි ආමි..
බෙයන්ද්හි රන්වනුන් බැලීමි
කැටපත් පවුරේ
කුරුටු ගෑ හදවත් බැලීමි
හිත සනහා ගතිමි..
හදෙහි තෙරපූ හැඟුම්
කැටපත් පවුරෙහි කුරුටු ගා
හිත නිදහස් කර ගතිමි......

සියවස් ගණනකට පසු
සිරගත දිවියෙන්
නිදහස් වන්නට සිතා
යළි ගියෙමි
සිහිගිරි බලනට....

පෙර මෙන් නොව
උඩටම
යකඩ පඩිපෙළ් බැඳලාය
වෙනදාට කලියෙන්
ඉහළ යා හැකිය
එනමුදු
උඩට නගින  හැමතැනම
බෝඞ් ලෑලි පිරිලාය
බිත්ති අතගෑම තහනම්ය..
නිශ්ශබ්ද වන්න.. විනීත වන්නෆ
වටපිට බැලීමි...
බෙයද මුදුනේද සෙනගෙන් අඩුවක් නොමැත
 යනෙන සැවොම
නොතේරෙන කුරුටු ගී
බලා සීරුවෙන් පහළ බසිති....

අවසන
හද තුළ තෙරපෙන සිතුවිලි
කුරුටු ගා යන්නට
දිවගියෙමි කැටපත් පවුර වෙත.....
පුදුමයකි....
දැන් එහි කැටපත වටා
වීදුරු පවුරක් බැඳ ඇත...
වටපිට බැලීමි
කුමක් කරමිද මම
ඒ අසල පුවරුවක ලියා තිබුණි
කුරුටු ගෑවොත් කැටපත් පවුරෙහි
දෙවසරක සිර දඬුවමක් නියතය නුඹට


 මං කුරුටු නොගෑ සින්දු

කොහාට................

කොහාට................
කොහෝ උඹවත් පලයන් ගෙදර
බෙහෙත් ඩිංගිත්තක් හරි අරගෙන
වොයිස් ගියපු ගොර හඬින්වත්
මරහඬින් අඬන්නට අවුරුද්දට
උඹ යනකොට අරන් යමන්
හන්දියෙ කඩෙන්
කොකිසක්වත් පොඩි එකීට

අවුරුදු කුමාරයත් තකහනියෙම
ණයපතෙන් ගත් තෑගි අරන්
නෑවිදින් බැරිකමට එනකොට
අපෙ ගෙදර
පවුලත් යන්න ගිහින්ලු
නොකියාම මහ ගෙදර

හදිසියෙවත් මතක් වී පඩිපත
ඇහුවොතින් මං ගැන පියබඳ
දුක්මුසු හඬින් කියාපන්
ණය බරින් මිරිකී මා
ළය පැලී මියගිය වග මහමග


මං තෙතබරිත සින්දු

බිරිඳ......

බිරිඳ......

හදන්නට ගත්
තුන්මහල් සෑයේ
ණය වාරික පොළියට
පරපුරක් එරිලාය.....
එහෙවු කොට
කොහේ යන්නද තව
මාස් පඩිය ගෙනැවිත් දී
යනව ඕන මගුලක
නැත්තං
හිමාලෙ ඉඳන් හරි
නඩත්තු ගෙවන්න
වෙනවමයි තමුසෙට.....


මං ඝරාවාස සින්දු

සංසාර චක්‍රය

සංසාර චක්‍රය

අසෝකෝ..
සංසාර චක්‍රය
දන්නවද නුඹ...

ඉපදුණු පසු
..පාසල් යාම
..ශිෂ්‍යත්වය
..ඕ ලෙවෙල්
..ඒ ලෙවෙල්
..කැම්පස්
..උපාධිය
..කසාදය
..දරුවන් හැදීම
..පාසල් රැගෙන යාම
..මුණුපුරන් බැලීම
....සමුගැන්ම....

හුස්මක්වත් ගන්න බැරි
එකතැන කරකැවෙන
මේ සංසාර චක්‍රය
ඝරාවාසය හැර
ජීවිතය සොයනට
හිතෙයි මට
පුළුවන්ද නුඹට
පින්සාරිත් එක්ක

ඉන්න තනියම...